බැලූ බැල්මට, මේ සටහන සමඟ පළවන රූපයේ සිටින්නේ වර්තමාන ගෝත්‍රික ස්ත්‍රියක යැයි ඔබට සිතෙනු ඇති. ඇගේ මුහුණේ ඇත්තේ ප්‍රසන්න බවකි; අවංක පෙනුමකි. හිස බූ ගා ඇති අතර, පිහාටුවලින් හැඩ ගැන්වූ හිස් පලඳනාවක් ඇය පැලඳ සිටී. බැලූ බැල්මට, මේ ස්ත්‍රිය වර්තමාන ගෝත්‍රික ගැහැනියක සේ පෙනුණත්, ඇය ලතින් ඇමෙරිකාවේ ඇමසන් වනාන්තරයේ හෝ අප්‍රිකාවේ ඝන වනනාන්තරයක හෝ ආසියානු කලාපීය රටක වනාන්තරයක හුදෙකලා වී නූතන සමාජයෙන් වෙන්වුණු ගෝත්‍රයකට අයත් ගැහැනියක නොවෙයි. මේ රූපයේ සිටින්නේ අද බටහිර යුරෝපා රටක් ලෙස සැලකෙන, බෙල්ජියමේ ස්ත්‍රියකි.

සැබෑවක් ලෙස මේ රූපය නිර්මාණය කර ඇත්තේ, විද්‍යාඥයන් සහ ග්‍රැපික් ශිල්පීන් දෙදෙනෙක් එකතුවයි. ස්ත්‍රියගේ මුහුණ පරිගණක රූපයක් ලෙස පළමුවෙන් නිර්මාණය කෙරුණු අතර පසුව එය සැබෑ රූපයක් ලෙස ද නිර්මාණය කෙරුණි. මානව විද්‍යාඥයන්ට අනුව, මේ ස්ත්‍රිය වසර 10,500 ක් පැරණියි. විද්‍යාඥයන් සහ පරිගණක ග්‍රැපික් නිර්මාණකරුවන් එක්වී මේ ස්ත්‍රියගේ මුහුණට පණ දීම කළේ ඔවුන්ට හමුවුණු මෙම ගැහැනු හිස් කබලේ කොටස් අනුවයි. එම හිස් කබෙලෙහි කොටස් සහ තවත් අස්ථි කොටස් සොයා ගැනීමට හැකි වී ඇත්තේ බෙල්ජියමේ මියුස් නිම්නයේ ලෙනකිනි. විද්‍යාඥයන් මෙම ස්ත්‍රිය නම් කර ඇත්තේ ‘මාගෝ ගැහැනිය’ කියායි.
මාගෝ ගැහැනිය අයත් ගෝත්‍රය, ඈත අතීතයේ, දඩයම් කරමින් ජීවත් වූ පිරිසකි. ඇගේ සමේ පැහැය, අද අපට දකින්න ලැබෙන බෙල්ජියම් කාන්තාවන්ගේ මෙන් සුදු පැහැයක් ගන්නේ නැත. මාගෝ ගැහැනියගේ සම තලඑළලුයි. ඇගේ ඇස් ලා අළු සහ නිල් මිශ්‍රණයකින් යුක්තයි. හිසේ ඉදිරිපස බූ ගා ඇත්තේ හිස් පලඳනාව රඳවා ගැනීමටයි. එම හිස් පලඳනාව පිහාටු සහිත සම් පටියකි. ඇගේ උරහිස්මත ඇති සලකුණු; එසේත් නැතිනම් රටා; ඕකර් හා අඟුරු භාවිතයට ගනිමින් අඳින ලද්දකි. ඕකර් යනු ස්වාභාවික මැටි පාෂාණවලින් ලැබෙන වර්ණකයකි. මෙහි මැටිවලට අමතරව, යකඩ ඔක්සයිඩ් සහ වැලි මිශ්‍රවී ඇත. අතීත ගෝත්‍රිකයන් මේ අයුරින් තම සිරුරුවල වර්ණ ගැන්වීම් කළ බව විද්‍යාඥයන්ගේ අදහසය. ඒ අනුව, ඔවුන් ප්‍රතිනිර්මාණය කළ මෙම ස්ත්‍රියගේ සිරුරේ ද රටා ඇඳ ඇත.
මාගෝ ගැහැනිය අප මෙන්ම, හෝමෝ සේපියන් කෙනෙකි. ඇය, අවසාන අයිස් යුගයෙන් ටික කලකට පසු ආහාර සොයා ඝන වනාන්තර සහිත බිම් සහ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල සැරිසරන්නට ඇත. දැනට විද්‍යාඥයන් මැය ‘මාගෝ ගැහැනිය’ ලෙස නම් කළත්, ඇයට සුදුසු ගැළපෙන නමක් යෝජනා කරන්නැයි විද්‍යාඥයන් බෙල්ජියම් වැසියන්ට පවසා තියෙනවා. නමක් යෝජනා කිරීම අන්තර් ජාලය හරහා අදාළ වෙබ් පිටුවට පිවිසීමෙන් කළ හැකියි.
විද්‍යාඥයෝ මාගෝ ගැහැනිය, මීට වසර 35 කට පෙර හමුවුණු චෙඩාර් මිනිසා හා සම්බන්ධ කරති. චෙඩාර් මිනිසා යනු සොමර්සෙට්හි ගොෆ් ගුහාවෙන් හමුවුණු ආදි මිනිසෙකි. චෙඩාර් මිනිසා, බටහිර යුරෝපීය ආදී දඩයක්කාර ආහාර රැස්කරන මානවයන්ගෙන් කෙනෙකි. මාගෝ ස්ත්‍රිය ද එම ආදී දඩයක්කාර ආහාර රැස්කළ මානවයන් අතරට වැටෙන බව විද්‍යාඥයන්ගේ මතයයි. චෙඩාර් මෑන් යනු බ්‍රිතාන්‍යයෙන් හමුවූ පැරණිතම මිනිසාය. මොහුගේ හිස් කබල සහ අස්ථි කොටස් සෝමර්සෙට්හි චෙඩාර් දුර්ගයේ ගොෆ් ගුහාවෙන් සොයා ගැණුනේ අද 1903 වසරේදීය. චෙඩාර් මිනිසා මෙසොලිතික් (මැද ශිලා යුගයේ) බ්‍රිතාන්‍යයේ මිනිසුන්ගේ ජීවිතය පිළිබඳව අනගි අවබෝධයක් ලබා දීමට සමත් වී තියෙනවා.
මාගෝ ගැහැනිය යනුවෙන් ඔබ හඳුනාගත් මෙම මෙසොලිතික ස්ත්‍රියගේ අස්ථි සොයා ගැනීම සිදුවුයේ බෙල්ජියමේ ඩිනන්ට් නගරය අසල මාගෝ ගුහාවෙන් 1988 වසරේ දීයි. බ්‍රිතාන්‍යයේ චෙඩාර් මිනිසා සේ ම, මීට වසර දස දහස් ගණනකට පෙර විසූ අප මුතුන් මිත්තන්ගේ ජීවිතය සහ ඔවුන්ගේ පෙනුම පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට මාගෝ ස්ත්‍රිය සමත් වෙයි. පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සහ නවීන විද්‍යාත්මක තාක්ෂණය එකතු වූ විට, අතීත මිනිසුන්ගේ රූප අප ඉදිරියේ ප්‍රති නිර්මාණය වීම සැබැවින්ම විස්මිතය. මෙම පුරාණ ගැහැනියගේ අස්ථි සහ ඇගේ හිස් කබල, ඉතා හොඳින් සංරක්ෂණය වී තිබූ බැවින් පර්යේෂකයන්ට එයින් ඩී.එන්.ඒ. සාම්පල ලබා ගැනීමට හැකි විය. මෙම ඩී.එන්.ඒ. විශ්ලේෂණය මඟින් ඇගේ ඇස්වල වර්ණය සහ සමේ පැහැය වැනි තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවිය. චෙඩාර් මිනිසා මෙන් මෙම බෙල්ජියම් ස්ත්‍රියට ද නිල් පැහැති ඇස් තිබූ බව හෙළි විය. කෙසේ වෙතත්, ඇගේ සමේ පැහැය එම කාලයේ සිටි අනෙකුත් බොහෝ පුද්ගලයන්ට වඩා තරමක් ලා පැහැයක් ගැනීම විශේෂත්වයකි. එයින් පැහැදිලි වන්නේ, විද්‍යාඥයන් කලින් සිතුවාට වඩා සමේ වර්ණකවල වැඩි විවිධත්වයක් මෙසොලිතික් යුගයේ මිනිසුන් අතර පැවති බවය. මෙම අධ්‍යයනයට සම්බන්ධ ප්‍රධාන ජාන විද්‍යාඥවරිය වන මයිටේ රිවොලාට් ද මෙම කරුණ අවධාරණය කළේ, මෙය සමේ වර්ණක විවිධත්වය පිළිබඳව අපගේ අවබෝධය පුළුල් කරන බව පැහැදිලි කරමිණි.
මානව විද්‍යාඥයන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ මාගෝ ස්ත්‍රියට ඇගේ පෙනුම ලබා දීමට හැකි වූයේ, නෙදර්ලන්ත ජාතික කලාකරුවන් දෙදෙනකු උත්සාහය නිසාය. ඇඩ්‍රී සහ ඇල්ෆොන්ස් කෙනිස් යනු ඔවුන් නිවුන්නුය. පරිගණක රූපයට අදාළව, සැබෑ පෙනුමින් මාගෝ ගැහැනියගේ හිස සහ බෙල්ල නිර්මාණය කළේ වැඩි වශයෙන් රෙසින් සහ සිලිකොන් මිශ්‍රණයක් භාවිතයට ගනිමිනි. මීට පෙර නොයෙක් විදියේ නියැන්ඩතාල්වරුන් ගේ රූප ද සුප්‍රසිද්ධ ඕට්සි අයිස්මෑන්ගේ රූපය ද ප්‍රතිනිර්මාණය කළේ මේ කෙනිස් නිවුන් සහෝදරයන් වීම ද විශේෂත්වයකි.
ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි
0 Comments